ජාතික ගමනාගමන දත්ත පද්ධතිය (ප්‍රධාන සැලස්ම) එළි දැක්වීම.

2024-07-17 | News

ජාතික ගමනාගමන දත්ත පද්ධතිය (ප්‍රධාන සැලස්ම) එළි දැක්වීම.

කොරියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ගමනාගමන දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ ධාරිතා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙරට මහාමාර්ගවල පවතින මාර්ග තදබදය විශ්ලේෂණය කර එය අවම කර මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන ජාලයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තීන් සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා මූලිකව වර්තමානයේ මෙරට මාර්ගවල පවත්නා තත්ත්වය හදුනාගැනීම සහ ඒ පිළිබඳව පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2024.06.14 දින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරීශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානයේ මෙරට අධ්‍යක්ෂතුමිය ඇතුළු එම ව්‍යාපෘති කළමනාකරණ කමිටුවේ මහත්ම මහත්මීන් කණ්ඩායමක් සහභාගී විය. ඇමරිකානු ඩොලර් මිලියන 4 ක කොරියානු රජයේ ප්‍රධානයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා 2021.11.23 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යන ගමනාගමන දත්ත කළමනාකරණ පද්ධතිය සමඟ මෙම නව දත්ත පද්ධතිය ඒකාබද්ධ කිරීම තුලින් මෙරට මාර්ග පද්ධතිවල වාහන තදබදය අවම කිරීම සඳහා විසදුම් හදුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. 2021 සිට 2025 දක්වා කොරියානු ව්‍යාපෘති උපදේශකයින් සමඟ මාර්ග සංවර්ධන අධිකාරිය එම කටයුතු කළමනාකරණය කරනු ලබයි. ජාතික ගමනාගමන දත්ත පද්ධතිය ප්‍රධාන සැලස්ම සඳහා අත්සන් තැබීම සහ නිල වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙත භාර දීම මෙහිදී සිදු විය.